වැසි වනාන්තර සුරකින්නෝ – පෙවරවාරි 8, 2016
සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්කුලන ගඟ හරස් කර ඉදිකෙරෙමින් පවතින කුඩා ජල විදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව පිවිසුම් මග සිට කිලෝමීටර් 3.5ක් නැගෙනහිර දෙසින් සිංහරාජ මායිමට යාබද ප්‍රේරක කලාපය තුල පිහිටා ඇති අතර කොස්කුලන ගඟ හරස් කර ඉදිකරමින් පවතින බැම්ම හා ගඟට යාබද ප්‍රේරක කලාපයේ බැකෝ යන්ත්‍ර දමා එලිපෙහෙලි කිරීම නිසා මෙම සංවේදී පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතී. ඊට අමතරව මෙම ඉදිකිරීම් සඳහා ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්‍රක් රථ ධාවනය සඳහා සිංහරාජ ප්‍රේරක කලාපයට අයත් කුඩා ගුරු පාරක් භාවිතා කර තිබේ. මේ නිසා ගුරුපාරට යාබද උතුරු ප්‍රදේශයේ රජුවන්කන්ද වැසි වනාන්තරයෙන් ඇරඹෙන දියපාර ගනනාවක් විනාශ වී ඇති අතර සිංහරාජයට යාබද එහි ප්‍රේරක කලාපයේ පිහිටි මෙම වැසි වනාන්තරය සිංහරාජයෙන් සහමුලින් වෙන්වී යාමේ දැඩි අවදානමකට පත්වෙමින් පවතී.
යුනෙස්කෝ ලෝක උරුම වැසි වනාන්තරයක් වන සිංහරාජයේ ප්‍රධාන පිවිසුම් ස්ථානයට සමීපව සිදුවන මෙම වන විනාශය සම්බන්ධව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගැනීම ඉමහත් ගැටලුවකි. ම්ධ්‍යම පරිසර අධිකාරිය මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් හා මහජන අදහස් විමසීමක් කර නැත. ලෝක උරුම වැසි වනාන්තරයක් තුල පරිසර නීති අමු අමුවේ උල්ලංඝනය කර මෙවැනි විනාශකාරි ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ දීම අදාල බලධාරීන්ගේ අසමත්කම, අල්ලස් හා වංචාව මනාව පැහැදිලි කරයි. මෙම විනාශකාරී ක්‍රියාවලියට ඉඩ දීම නිසා සිංහරාජය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කිරීමටද බොහෝ සෙයින් ඉඩ තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලෝක උරුම වැසි වනාන්තරයක් තුල වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත හා ජාතික පරිසර පනත උල්ලංඝනය කරමින් කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමට අනුබල දී ඇති දෙවැනි වතාව මෙය වේ. මීට ප්‍රතම ශ්‍රී පාද අඩවිය තුල “ඇලි හත” කුඩා ජල විදුලි බලාගාරයක් මහජනතාව හා පරිසරවේදීන්ගේ විරෝධය නොසලකා ඉදිකිරීමට අනුබලදී එම ලෝක උරුව වැසි වනාන්තරයටද බරපතල හානියක් සිදුකරන ලදි. මෙම කුඩා ජලවිදුලි බලාගාර වලින් ලැබෙන ඉතා සුළු මෙගාවොට් දෙකට අඩු විදුලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රැකගතයුතු ජල පෝශක ප්‍රදේශවල පිහිටි දිය ඇලි හා ගංගා විනාශ කිරීම ජාතික අපරාධයකි.
මෙම ව්‍යාපාරය පරිසර ප්‍රේරක කලාප තුල ඉදිකිරීම් පිලිබඳ නීති උල්ලංඝනය කිරීමට අමතරව ගංගා ප්‍රේරක කලාප තුල ඉදිකිරීම් සම්බන්ධ නීති රීති කඩ කිරීමක්ද ඊට අමතරව ලෝක උරුම වැසි වනාන්තරයක් විනාශ කිරීමක් ද වන බැවින් ම්ධ්‍යම පරිසර අධිකාරිය, යුනෙස්කෝ සංවිධානය, වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ, පරිසර ඇමති ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු සියලු බලධාරීන්ගෙන් අප මේ වන විනාශය වහාම නවත්වන ලෙස ඉල්ලා සිටිමු.
වැසි වනාන්තර සුරකින්නෝ
http://www.RainforestProtectors.org