කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටි බණ්ඩාර රක්ෂිතයට මායිම්ව කැළණි ගඟෙහි ප්‍රේරක කලාපය තුල ඉදිකිරීමට යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන් මුළු ලෝකයෙන්ම එම ස්ථානයේ පමණක් වාර්තා වන ඉතා දුර්ලභ කිතුල්ගල සාලයා හා හොර කුලයට අයත් Balnocapus Kitulgallensis ශාඛය සදහටම වඳවීයාමේ තර්ජනයකට මුහුන පා ඇත.
Devario micronema හෙවත් කිතුල්ගල සාලයා කැළණි ගංගා ද්‍රෝණියේ කිතුල්ගල ප්‍රදේශය ආශ්‍රිතව, සෙමින් ගලායන සෙවණ සහිත දියපහර වල පමණක් ඉතා සීමිත ව්‍යාප්තියක් පෙන්වන මත්ස්‍ය විශේෂයකි. මෙම විශේෂය 1863 දී “පීටර් බ්ලීකර්” නම් මත්ස්‍ය විද්‍යාඥයෙකු විසින් මුලින් හඳුන්වා දී ඇති නමුත් මෙතෙක් වඳවී ගිය විශේෂයක් ලෙස සැලකුණු අතර ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් සිදු කරන ලද මිරිදිය සාලයන් පිලිබඳ අධ්‍යයනයේදී මෙම මත්ස්‍ය විශේෂය නැවත සොයාගැනීමට හැකි වුනි.
කිතුල්ගල සාලයා – පිටපත් අයිතිය ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය
යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා පරිමාණ ජල විදුලි බලාගාරය මෙම මත්ස්‍ය විශේෂය සීමා වී පවතින ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත අතර, දැනටත් ප්‍රාදේශිය බලධාරීන් අවසර ලබා දී ඇති මෙම ඉදිකිරීම සිදුවුවහොත් කිතුල්ගල සාලයා මත්ස්‍ය විශේෂය වාසය කරන ජල මූලාශ්‍ර විනාශ වී මුලු ලොවින් සදහටම වඳ වී යාමේ තර්ජනයක් පවතී. ස්ථානීය ආවේණික (point endemic) කිතුල්ගල සාලයා සම්බන්ධ කරුණු පාරිසරික ඇගයීම් වාර්තාවල සඳහන් නොවී තිබීම නිසා අදාල ප්‍රාදේශිය බලධාරීන් මෙම ව්‍යාපෘතියට අනුමැතිය දී ඇත්තේ එකී වැදගත් කරුණු සම්බන්ධව සැලකිල්ලට නොගෙනය.
ව්‍යාපෘතියට හසුවන ජල ප්‍රදේශය තුල මත්ස්‍ය විශේෂ 39ක් දැකිය හැකි අතර මින් 21ක් ලංකාවට ආවේනික මත්ස්‍යයින් වේ. ඉන් 17ක් වඳවීයාමේ තර්ජනයට මුහුණ පෑම නිසා IUCN රතු දත්ත පොතට ඇතුලත් වී ඇති අතර ඉන් 12ක්ම මෙම පරිසරයේ ජීවත් වෙති.
බොහෝ ප්‍රදේශ තුල දැනට ඉදිකර ඇති කුඩා ජල විදුලි බලාගාර මගින් පරිසරයට නිර්දේශ කල ජල ප්‍රමාණයවත් බලාගාර හිමියන් විසින් නිදහස් නොකිරීම නිසා ඉතා ගැටළුකාර තත්වයක් ඇතිවී තිබේ. මෑතකදී කුඩා ජල විදුලි බලාගාර ඉදිකල බොහෝ දිස්ත්‍රික්ක තුල ජල චක්‍රය විකෘති වීම නිසා තද නියං තත්වයත්, ඉන් පසුව මෝසම් වැසි සමග ගංවතුර හා නායයෑම් විශාල වශයෙන් ඇතිවීමත් නිසා මිනිස් ජීවිත විශාල ගණනක් අහිමි වූ අතර, පවුල් ලක්ෂ ගණනක් දැඩි පීඩාවට පත්වුනි. මීට ප්‍රධාන හේතුව ස්වභාවික වනාන්තර හා ජල මූලාශ්‍ර විනාශ කිරීමත්, එම ප්‍රේරක කලාප හා ජල මූලාශ්‍ර අවහිර කර කුඩා ජල ව්දුලි බලාගාර ඇතුලු නොයෙකුත් ඉදිකිරීම් කිරීමත්, ජලය ස්වභාවික දොළ හා ගංගා තුල නොව කොන්ක්‍රීට් කාණු පද්ධති තුලින් යැවීම නිසා ජල උල්පත් විනාශ වීමත්, කඳු හා බෑවුම් ප්‍රදේශ තුල කැනීම් කටයුතු නිසා පසෙහි ස්ථාවරත්වය බිඳ වැටීමත් නිසාය.
2017 ජූනි මස නායයෑමට තුඩුදුන් නෙළුව මාවනාන පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාරය
මෑත කාලීනව ඇතිවූ වියලි කාලගුණ තත්වයන් යටතේ හා ඉදිරියට අපේක්ශිත දැඩි නියං හා එල් නීනෝ කාලගුණ තත්වයන් යටතේ කුඩා ජල විදුලි බලාගාර මගින් තව දුරටත් ජාතික විදුලි අවශ්‍යතාවයට සැලකිය යුතු සහයක් නොලැබෙන බව ගම්‍ය වී ඇත. එය පසුගිය සමයේ විදුලි බල ජනන දත්ත සැසඳීමේදී පෙනී යන අතර, කුඩා ජල විදුලි බලාගාර 180කට ආසන්න ප්‍රමාණයක විදුලි උත්පාදන එකතුව ජාතික අවශ්‍යතාවයෙන් 2% ක් වත් නොවීමත් බලාගාර කාර්යක්ශමතාවය 20% ක් ආසන්නයේ පැවතීම මගිනුත් ඉහත කාරණය තවදුරටත් සනාත වේ.
දිනෙන් දින උග්‍ර වන නියං තත්වය, එල් නීනෝ තත්ත්ව, සහ දේශගුණ විපර්යාස හමුවේ මෙරට ඉතිරි වී ඇති ජල මූලාශ්‍ර රැක ගත යුතු අතර, එම වටිනා ජල සම්පත හා වැසි වනාන්තර වනසමින් රටේ විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමට කොහෙත්ම නොහැකිය. වනාන්තර විනාශය හා ගෝලීය උෂ්ණත්වය නැගීම නිසා ඉදිරියේදී පැමිනීමට නියමිත දරුණු නියං තත්වයත් සමග අපට කෘෂිකර්මාන්ත කටයුතු තබා පානය කිරීමටවත් ජලය ඉතිරි නොවනු ඇත.
ඉහත වැදගත් කාරණා සැලකිල්ලට ගෙන ලෝකප්‍රසිද්ධ කිතුල්ගල පාරිසරික පද්ධතිය හා සංචාරක කලාපය විනාශ වීමට තුඩු දෙන මෙම ව්‍යාපෘතිය අත්හිටවා, සිංහරාජයට නොදෙවෙනි ජෛව විවිධත්වයක් ඇති මෙම සුවිශේෂ වැසි වනාන්තර පද්ධතිය රැක ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම අදාල රජයේ බලධාරීන්ගේ යුතුකමය.
වැසි වනාන්තර සුරකින්නෝ
http://www.RainforestProtectors.org